I remember
you,
Amanda වික්ටර් හාරා ( Victor Jara ) ගේ ගීතයකි. මෙහි වික්ටර් හාරා යන නාමය Victor Hara ලෙස
නොලියා Victor Jara ලෙස
ලියා ඇත්තේ ඔහු ගේ දේශයේ භාවිත බසින් එය ලියැවෙන විදිහ ඒ වන බැවිනි.
වික්ටර් හාරාගේ අමන්දා ගැන කතා
කිරීමට පෙර, වික්ටර් හාරා ගැන යම්
හැඳින්වීමක් කළ යුතු යැයි සිතනුයේ ඔහු ගැන තොරතුරු නොදන්නා අයට ය. දන්නා අයට ඔහුගේ
ගීතයේ ඉංග්‍රීසි පරිවර්තනයටත්, අනතුරුව එය අන් බසින් සිය බසට පෙරළූ මගේ උත්සාහයටත් එකී ගීතය පිළිබඳ විවරණයටත් යොමු
විය හැකිය.
වික්ටර් හාරා චිලියානුවෙකි.
ඔහු උපත ලබා ඇත්තේ 1932 වසරේ සැප්තැම්බර් 28 වන දිනදී ය. Víctor Lidio Jara Martínez ලෙසින් නම් ලැබූ ඔහු ප්‍රකට වන්නේ Victor Jara -
වික්ටර් හාරා යන නමිනි.
චිලී රාජ්‍යයේ
සන්තියාගෝ අග
නුවරට නුදුරු කුඩා නගරයකදී ඔහු උපත ලබන්නේ අන්ත දුප්පත් අඳගොවි පවුලක දරුවෙකු
ලෙසිනි. මැනුවෙල් හාරා සහ අමන්දා මාටිනස් ඔහුගේ පියා සහ මවයි. දුගී බවේ පතුළේ
ගිළුණු එමෙන්ම ලොකු පවුලක් බරක් ඇති පවුලක් වුණු බැවින් වික්ටර්
හාරා ගේ පියා සිය දරුවන් පාසැල් ගමනට වඩා කුඩා කල සිටම යම් යම් කුලී වැඩවල
නියැලීමට උනන්දු කරනුයේ පවුලේ බරට තනිව උර දිය නොහැකි වූ බැවිනි. වික්ටර් හාරා මෙසේ සුළු සුළු වැඩ කරමින් පවුලේ බර හෑල්ලු කිරීමට
යම් සරණක් වන්නේ යන්තමින් අවුරුදු 6 වන විටයි. මේ අතර ඔහුගේ පියා බීමටද ඇබ්බැහි ව සිටි බැවින් ඔවුන්
තවත් දුගී බවේ පතුළෙහි ගිළුණු අතර පියාගේ වධ හිංසා ද වැඩි විය. මේ තත්වයන් මැද
රැකියාවක් සොයා ගැනිමට යැයි ඔහුගේ පියා, මැනුවෙල් හාරා, පවුලෙන්
වෙන් වන්නේ වික්ටර් හාරා තවමත් ළමා වියේ ම පසුවෙද්දී
ය.
වික්ටර් හාරා ගේ ද අනෙක් දරුවන් ගේ ද බර එතැන් සිට සිය උර මතට ගන්නේ
ඔවුනගේ මව අමන්දා ය. අමන්දා
ඔවුනට පෙරැත්ත කරමින් කියා සිටින්නේ හොඳින් උගෙන ගන්නා ලෙසට ය.
වික්ටර් හාරා
ට වයස 15 වන විට මව ද මිය ගියෙන්, අනතුරුව ඔවුනගේ මග සොයා කටු
කොහොල් එළි පෙහෙළි කරගනිමින් යාම ඔවුනට ම පැවරුණි.
ගණකාධිකාරී වරයෙකු වන්නට ඉගෙන ගත් ඔහුට එතැන් සිට පූජක අධ්‍යාපන
ආයතනයකට ඇතුළත් වන්නට සිදුවිය. දෙවසරක් ඇවෑමෙන් පල්ලියේ අධ්‍යාපනය මුලාවකැයි සිතන
ඔහු ඉන් නික්ම යන අතර අනතුරුව වසර කිහිපය ගත කරන්නේ හමුදා සොල්දාදුවෙකු ලෙසිනි.
එයින් අනතුරුව ඔහු සිය ගම් පළාතට පැමිණෙන අතර ජන සංගීතය සහ වේදිනා නාට්‍යය පිළිබඳව
උනන්දුවකින් ඒ දෙසට නැඹුරු වන්නේ ඉන් පසුවය.
ඔහු සතුව විවිධාකාර වූ කලා හැකියාවන් පැවතුණි. මේ නිසාම
වේදිකා අධ්‍යක්ෂවරයෙකු, ගීත රචකයෙකු, සංගීත නිර්මාණ ශිල්පියෙකු, වාදකයෙකු, කවියෙකු විය. ඔහු ගුරුවරයෙකුද වීය. එමෙන්ම ඔහු දේශපාලන
ක්‍රියාකාරිකයෙකු ද විය.
කලාකරුවෙකු වශයෙන් ඔහු චිලියානු
ජන නාටකයේ සිට එම නාටක විශ්ව වේදිකාවට ගැලපෙන අයුරින් අත්හදා බලමින්
නිපදවන්නට ඔහු සමත් විය. එමෙන්ම චිලියානු ජනසංගීතය නව
අත්හදාබැලීම් වලට යොමු කරමින් නව චිලියානු ගීතය
නම් ගීත ධාරාවක් හඳුන්වාදීමේදී පෙරමුණ ගත් සංගීතඥයෙකු විය.
මේ කටයුතු වලදී චිලියානු ජන
සංගීතය සහ අනෙකුත් ලතින් ඇමරිකානු සංගීත ධාරාවන් ඔහු තුළ මහත්
නිර්මාණාවේශයක් ඇති කරණ ලැබුණි.
Violeta Parra,
Atahualpa Yupanqui,
යන සංගීතඥයින්ද
Pablo
Neruda
කවියාද ඔහු වෙත ප්‍රධානව
බලපෑ කලාකරුවන් විය.
ඔහුගේ නිර්මාණ ධාරාව තුළ නියෝජනය වන්නේ පීඩිත ජනතාවය.
ඔවුනගේ විවිධාකාර වූ දුක්ඛ දෝ මනස්සයන්ය. එහි සීමාවන් ආදරය,
සාමය,
යුධ විරෝධය,
සමාජ අසාධාරණය,
සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන්
වැදීම ආදී වූ ඉසවු කරා දිව යයි.
මේ සංගීත ධාරාව සිය දේශපාලන කටයුතු වලදී ප්‍රායෝගිකව
යොදා ගන්නට හේ සමත් විය.
ඔහුගේ දේශපානය කුමක්ද?
ඔහුගේ දේශපාලන නැඹුරුව සිදු වන්නේ විශ්ව විද්‍යාල සංගීත
හා ගායන කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස චිලී විශ්වවිද්‍යාලයට
බැඳීමත් සමඟමය. ඔහු එහි වේදිකා නාට්‍ය වැඩසටහන් වලටද සහභාගි වන්නේ එහිදී ඔහුට
වේදිකා නාට්‍ය කිහිපයකම රඟ දැක්වීමට අවස්ථාව සැලසෙයි. එය ඔහුට සිය දස්කම් මත ශිෂ්‍යත්වයක්ද
දිනාගැනීමට අවකාශ සලසයි.
මේ අතරය ඔහුට Violeta
Parra නම් චිලියානු ජන ගී ගායිකාව මුණ ගැසෙන අතර ඔහු හා එක් වී
ඒ ඇසුරින් නව චිලියානු ගීතයක් නිපදවයි.
1966 දී ඔහු එළි දක්වන සිය පළමු ගීත නිකුතුවෙන් ඔහු චිලියානු ගතානුගතිකත්වයට එරෙහි වන්නන්, සටන් කරන්නන්
තුළ බලාපොරොත්තුවක් දල්වා ලනු ලබයි.
මෙහි එන සමහර ගී ගුවන් විදුලියේ වාරණයට ලක් වන අතර එම
තැටි තැටි වෙළඳපොලවලින් ඉවත් කරණු ලබයි. එහෙත් ඉන් සිදු වුණේ හාරා ගේ ප්‍රසිද්ධිය සහ තරුණ ප්රගතිශීලී ජනතාව අතර
ඔහු කෙරෙහි ජනප්‍රියත්වය ගොඩ නැගීම පමණි. මේ හා සමඟම හාරා
තුළ වාමවාදී දේශපාලන කණ්ඩායම් හා සබඳතා ගොඩනැගෙන අතර අනතුරුව ඔහුගේ ගී එම සටන් ව්‍යාපාර
වල කලාත්මක භාවිතය බවට පත් වෙයි.
අනතුරුව හාරා ව දක්ෂාණාංශික පාලකයින් විසින් හඳුනා ගන්නේ
ආණ්ඩු විරෝධියෙකු විලසිනි.
චිලියානු කැරැල්ලෙන් අනතුරුව 1973 සැප්තැම්බර් 11 වන දින වික්ටර් හාරා ව
අත්අඩංගුවට ගන්නා අතර අත්අඩංගුවේදී අමානුෂික වධ බන්ධනයන්ට ලක් කොට අනතුරුව වෙඩි
තබි මරු දමණු ලබයි. මරා දමණු ලැබූ හාරා ගේ සිරුර සන්තියාගෝ
නුවරට ආසන්න ෂැන්ටි නම් නගරයේ වීථියකට
විසි කර දමා තිබිය දී හමු වෙයි.
වික්ටර් හාරා මරා දමා තිබූ ආකාරය අනුව ඔහුගේ මරණය මානව හිමිකම්
වෙනුවෙන් කටයුතු කරණ බොහෝ අය අතර සංඛේතයක් බවට පත් වෙයි.
මේ වික්ටර් හාරා ගැන
අසම්පූර්ණ සටහනකි. ලංකාවේද විවිධ අය වික්ටර් හාරා
පිළිබඳව පොත් පවා ලියා මුද්‍රණය කොට ඇති වග සඳහන් කරණුයේ අවැසි අයෙකුගේ පහසුව
පිණිස ය. ප්‍රවීන මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාද
එලෙස වික්ටර් හාරා ගැන කෘතියක් කළ බවට මතකයක්
ඇත.
දැන් අපි යොමු වන්නට යන්නේ වික්ටර්
හාරා ගේ අමන්දා නමැති ගීයේ පද පෙළ
විමසුම ට ය.
I
remember you, Amanda
I remember
you, Amanda
The wet
street
running to
the factory
where he
worked, Manuel.
The wide
smile, the rain in your hair,
nothing
mattered
because
you were
going to meet with him,
with him,
with him, with him
With him,
just five minutes
The life is
eternal
in five
minutes
The whistle
blew
to return
to work
and you
walking you lit up everything
those five
minutes
made you
blossom
I remember
you, Amanda
The wet
street
running to
the factory where Manuel worked
The wide
smile, the rain in your hair,
nothing
mattered
because you
were going to meet with him,
with him,
with him, with him
He, Who
left for the mountains
He had
never hurt anyone,
And he was
sent to the mountains
To fight
and in five
minutes
it was all
wiped out
The whistle
blew
to return
to work
many didn't
go back
neither did
Manuel
I remember
you, Amanda
The wet
street
running to
the factory where Manuel worked
මේ ඉංගිරිසියට නැගූ ගීත රචනය චිලියේ භාවිත
ස්පාඤ්ඤ බසින් ඉංගිරිසියට නැගූ පරිවර්තන දෙකක් ගෙන වඩා කාව්‍යාත්මක එකට අනෙකෙන්ද
සුළු කොටස් අමුණා සකසා ගත් එකකි. එම ඉංගිරිසි ගීත රචනය සිය බසට නඟන්නට මා ගත්
වෑයමය පහතින් ඇත්තේ.
I remember you, Amanda by Victor Haja
මට මතකයි නුඹව අමන්දා
මැනුවෙල් වැඩ කළ
ෆැක්ටරිය වෙත දිවෙන
තෙතබරිත මාවතෙහි හමු වුණු
අමන්දා
සිනා පොබයන මුව
වැසි දිය වෑස්සෙන වරලස
ඔබට ඒ කිසිවක්ම නො වැදගත්
ඔහු ව දැකගනු රිසින් සිටි බැවිනි
ඔහු දකින්නට
ඔහු දකින්නට
මිනිත්තු පහකි ඔවුණට
ජීවිතය සදාකාලික කළ
ඒ මිනිත්තු පහක කාලය
හැඬවී කම්මලේ සංගුව
කැඳවී ඔවුන් යළි වැඩ බිමට
පිය මැන්නෙ නුඹ
ප්රභාවත් කරමින්
හැම තැනම හැම දෙයම
මිනිත්තු පහක් වුව කාලය
නුඹ සිත් මල පුබුදවා ඇත
මට මතකයි නුඹව අමන්දා
මැනුවෙල් වැඩ කළ
ෆැක්ටරිය වෙත දිවෙන
තෙතබරිත මාවතෙහි හමු වුණු අමන්දා
සිනා පොබයන මුව
වැසි දිය වෑස්සෙන වරලස
ඔබට ඒ කිසිවක්ම නො වැදගත්
ඔහු ව දැකගනු රිසින් සිටි බැවිනි
ඔහු දකින්නට
ඔහු දකින්නට
ජීවිතේ කිසි දින
කුහුඹුවෙකුටත් නොරිදන
ගෙන ගියේ ඔහු
කඳුකරේ වෙත
කඳුකරේ සටනට
මිනිත්තු පහක එම කාලය
මකා ඇත සියල්ල
හැඬවුණු සංගුව
කැඳවයි යළි වැඩ බිමට
බොහෝ අය යළි නොගියහ
මැනුවෙල් පවා නොගියේය
මට මතකයි නුඹව අමන්දා
මැනුවෙල් වැඩ කළ
ෆැක්ටරිය වෙත දිවෙන
තෙතබරිත මාවතෙහි හමු වුණු අමන්දා
අන් බසින් සිය බසට පෙරලීමේ උත්සාහය,
යසනාත් ධම්මික බණ්ඩාර.
අමන්දා ගීතය අසමු.
මේ ගීතයේදී වික්ටර් හාරා විසින්
යොදා ගනු ලබන නම් දෙක සිය පියාගේත් මවගේත් වීමට හේතුව කුමක්දැයි සෙවීමට මම උත්සාහ
කළෙමි. එහෙත් උත්සාහය අපතේ ගියේය. මට ඊට හේතුවක් සොයා ගත නොහැකි විය. නමුත් වික්ටර් හාරා හා සබැඳි කතාව අනුව නම්,
මෙහි යෙදෙන නම් දෙක ඔහුගේ ම
පියාගේත්,
මවගේත් වුව,
එය ඔවුනගේ කතාව නම් නොවේ. කෙසේ
වෙතත්,
එම නම් දෙක යොදන්නට ඇත්තේ,
තමන්ගේ දිවියට වඩාත් සමීපතම නම්
දෙකක් වූ බැවින් විය හැක. අනෙක නම්,
කවියාගේ ලෝකයේ මැවෙන චරිත සමහර විට සත්‍ය
ලෝකයේ චරිත විය හැක. එහෙත් එම චරිත සත්‍ය ලෝකයේදී රඟපාන භූමිකා කවියාගේ ලෝකයේදී එම
සත්‍ය ලෝකයේ භූමිකාම වන්නට අවැසි නැත.
මෙහි අමන්දා ගේ
පෙම්වතා වන්නේ මැනුවෙල් ය. ඔහු නගරයේ යම්
කම්හලක හෝ වැඩ බිමක වැඩ කරයි. ඇය දිනක් ඔහු දකින්නට යන්නේ වැස්සත් කැටිවම ය.
එදින වට වැස්ස අන් අයට නම් බාධාවක් වන්නට ඇත. එහෙත් ඔහු
දැක ගැනීමේ රිසින් යන ඈට නම් ඒ බාධාව නොගිණිය හැකි තරම් ය. ඈට ඇත්තේ එකම එක
අදහසකි. ඒ ඔහු දැක ගැනුමම පමණි.
කොතෙක් පැතුමන් පුරවා ගෙන ගියද,
ඔවුනට තිබුණේ කෙටිම කෙටි කලකි.
මිනිත්තු පහක කාලයකි. එහෙත් ඔවුන් ලද මිනිත්තු පහ වුව එය ඇගේ දිවියට සදාකාලයම බදු
විය. ඒ මිනිත්තු පහක කාලයය, ඇගේ දිවියේ සෑම අස්සක මුල්ලකම මල් පිබිදවූයේ.
ඔහු වැඩ බිමක සිටියද, වැඩ බිමේ නීති රීති වහල් කඳවුරක මෙන් තදය. ඇත්තටම කියනවා
නම්,
එය වහල් කඳවුරක් ම ය.
මේ ගීතයේ ඇරඹුම එසේය. එහි ඇත්තේ පීඩිත ජනතාවගේ දුකයි.
ඔවුන් ඉපදී ඇත්තේ වැඩ කිරීමට පමණි.
ප්‍රේමය ඔවුන්ට, ලැබුණොත් කරන්නට ය.
විවාහය ඔවුනට ඊටත් වඩා දුලබ අවස්ථාවකි.
විවේකය ඔවුන්ට අයිති ම දෙයක් නොවේ. දුන්නොත්
ගන්නට ය.
නින්ද ඔවුනට අවම ය.
කෑම ඔවුනට අවැසි පමණට වඩා අඩුවෙන්ය.
ඇත්තන්ට සාමාන්‍ය ලෙඩ ඔවුට ලෙඩ නොවිය යුතුය. අසාධ්‍යම නොවේ නම්, ලෙඩ දුකද ඉවසිය යුතුය.
මෙවන් කම්කරුවෙකි සැමුවෙල්.
අර සදාකාලික මිනිත්තු පහ අවසන, කම්හලේ
සංගුව හැඬවුණු කල, සියළු මානුෂික හැඟුම් බිම තබා ඔවුන් යළි
යා යුතුය. වැඩ සඳහා යා යුතුය.
ඊ ළඟට ඇති විශේෂම දේ නම්, ඔවුනට කැමැත්ත කළ නොහැකිය. ඔවුන් කළ යුත්තේ ස්වාමියා
කැමැති දේ ඉටු කිරීමය. මේ ස්වාමියා සමහර විට ඉඩම් අක්කර දස දහස් ගණන් හිමි
ගොවියෙකු විය හැක. කම්හල් කරුවෙකු විය හැක. නැති නම් මර්ධනකාරී රජය ම විය හැක. එකල
චිලී දේශයේ කම්කරුවාගේ තතු මෙසේ විය.
මේ හැම කරුණම ගීතයේ නැත. එහෙත් සිතා ගත යුතුය. කවියක
ගීතයක ඇත්තේ අවැසිම ටිකයි. උසස් රසිකයා ඉතිරි ටික තම සිත තුළඳී පබැඳිය යුතුය. සිතේ
ඇඳ ගත යුතුය.
උසස් රසිකයා යනු,
අන් අය දෙන ඉඟි ගෙන තම සිත තුළ කවි පබඳින එක්තරා
කවියෙකි.
අන් අය දෙන ඉඟි ගෙන තම සිත තුළ ගීත ලියන එක්තරා ගීත රචකයෙකි.
අන් අය දෙන ඉඟි ගෙන තම සිත තුළ සිතුවමක්
අඳින එක්තරා සිත්තරෙකි.
ගීතයේ අවසාන අන්තරා කොටස දෙස බලන්න. හදිසියේ ඔවුන් මැනුවෙල්ලාව කඳුකරයට කැඳවයි. කඳුකරයෙහි ඇත්තේ
යුද්ධයයි.
මැනුවෙල් අහිංසක ය. මැනුවෙල් ගේ අහිංසක බව එහි මනාව
කියැවෙයි. කුරා කුහුඹවෙකුටවත් නොරිද වූ අයෙකි ඔහු. මදුරුවෙකුවත් නොනැසූ අයෙකි ඔහු.
එවන් ඔහු කෙසේ නම් මිනිසුන් දෙසට ගිනි බිඳින්නද?
එහෙත් ඔවුන්ව රැගෙන යනු ලැබිණ.
ඈත කඳුකරයට.
කඳුකරයේ යුද්ධයට.
එහෙත් ඔවුන්ව රැගෙන යනු ලැබිණ.
ඔවුනට අනවැසි වුව, දැන් ඔවුන් යුද්ධ කළ යුතුය.
අනතුරුව බොහෝ දේ වන්නට ඇත. එහෙත් ගීතයේ ඒ කිසිත්
නොකියයි. එහෙත් එහි අවසනට එළඹෙන්නේ මහත් උත්ප්රාසයක් කැටිකොට ගෙන ය.
හැඬවුණු සංගුව
කැඳවයි යළි වැඩ බිමට
බොහෝ අය යළි නොගියහ
මැනුවෙල් පවා නොගියේය
මේ, යුද්ධයෙන් පසුව කම්හල ඇරඹෙන පළමු දින වන්නට ඇත. කම්හලේ
සංගුව හඬවා ඔවුනට සන් කරන්නේ එන ලෙසට ය.
කම්හලට....
වැඩට.....
එහෙත් බොහෝ දෙනෙක් යළි වැඩට නො ආවේය. එලෙස නො ආ අය අතර මැනුවෙල් ද කෙනෙකි.
මේ නොකියා කියන්නේ කුමක් ද?
එදා කඳුකරයට රැගෙන ගිය බොහෝ
දෙනෙක් යළිත් කඳුකරයෙන් ගමට නො ආ බව නොවේද? ඒ ඇයිද යන පැණයට පිලිතුරු ද මා මෙහි ලියා ඔබගේ රසිකත්වයට
ගැරහුම් නොකරමි.
-
යසනාත් ධම්මික බණ්ඩාර -










අගෙයි.බ්ලොග් එක ෆලෝ කරන්න ගැජට්ටුවත් එල්ලන මෙන් ඉල්ලා සිටිමි.
ReplyDeleteජයවේවා..!!