පරිවර්තන කවි කියවන්නට පැමිණි ඔබට දිගු සටහනක් ඉදිරිපත්
කිරීම පිළිබඳව කමන්න. එහෙත් ලිවිය යුතුම දෙයක් ලියා නොයාම නොමැණවැයි සිතුනි බැවින්
ලීවෙමි. ලියමන නොරුචි කවියෙහි පමණක් රුචි යමෙකුට මේ පිටේ පහළින්ම ඒ කවිය හමුවෙනු
ඇති.
පූර්ව පුසූත අවධියේ යාඥාකරුවා යනු මා කළ පරිවර්තන කවි සහ ගී සංගෘහිත කෘතියට යෙදෙන
නමයි. මේ නම බිඳගත්තේ, මා මේ නමින් ම
සිංහලට පෙරළූ Louis McNeice (1907 - 1963) ගේ Prayer
Before Birth නම් කවෙනි.
පරිවර්තන කවි ගී යනු වෙනත් බසකින් ලියැවුනු කවියක් හෝ
ගීතයක් සිය බසට නැගීමයි. මා මේ සියළු කවි ගීත සිය බසට නැගුවේ ඉංගිරිසි කවිය හෝ
ගීතය ඇසුරිනි. මා දන්නා එකම අන් බස ඉංගිරිසිය පමණක් වීම නිසාය.
දන්නා එක ම අන් බස ඉංගිරිසිය පමණක් වේ යැයි පැවසූ විට මා
ඉංගිරිසිය මැනැවින් දන්නෙකැයි කෙනෙක් හිතනු ඇත. එහෙත් සිය බසවත් මැනැවින් නොදත් මා
ඉංගිරිසිය දන්නේ අල්පයකි.
දැන් ඔබට පැණයක් නැගෙනු ඇත. අල්පයක් ඉංගිරිසි දැනගෙන
කවක් ගීයක් සිය බසට නගනුයේ කෙලෙස ද යනුවෙන්. ඔව් එය සාධාරණ සහ හොඳ පැණයකි. එහෙත්
පිලිතුරු ලෙස මට කිව හැකි දේ අසාධාරණ එකකැයි නොසිතමි.
ඉංගිරිසිය මැනැවින් දන්නා අයගෙන් වුව බොහෝ විට ඉංගිරිසි සාහිත්‍යය ඇසුරු කරන්නේ අල්පයකි.
ඒ ඇසුරු කරන්නන්ගෙනුත් සාහිත්‍යයේ ගැඹුර හෝ රසය සොයන්නේ තවත් අල්පයකි. ඒ
අල්පයෙනුත් තවත් අල්පයකට ය ඒ රසය තවෙකෙකුට බෙදා දීමේ හැකියාව ඇත්තේ. වෙන විදිහකින්
කිවහොත් එම සාහිත්‍ය කෘති කියවීමට රුචි වුවද ඒවා විඳගන්නේ වුවද, ඒවා සිංහලට නගා ඔවුන්
විඳි දේ අනෙකාට බෙදා දෙන්නට ඔවුන් අපොහොසත්ය. කවියෙහිදී ගීතයෙහි දී මෙය තවත්
ගැටළුසහසත වෙයි. ඒ සාහිත්‍යය ඇසුරින් ඔවුන් උකහා ගන්නා දේ කවි බසින් කීමට අපොහොසත්
වෙයි.
ඉංගිරිසිය මද පමණින් දන්නා, එහෙත් ඉංගිරිසියෙන් ලියැවුනු
කවියක ගීයක අරුත් විඳ එය ම සිය බසින් ප්‍රතිනිර්මාණය කළ හැකි අල්ප දෙනෙක්ගෙන් යුත්
කුලකයක් ද වෙයි. එම හැකියාව අඩු වැඩි ව එකිනෙකාට පිහිටයි. මා අයත් වනවා නම් අයත්
විය යුත්තේ එම කුලකයට ය. නැති නම් තවත් කුලකයක් ඇත. එනම් ඉංගිරිසිත් බැරි, ඒ නිසා
ම ඉංගිරිසි කවි තේරෙන්නෙත් නැති, තේරුනත් සිය බසින් ප්‍රතිනිර්මාණය කළ හැකි පමණට
කවිකමත් බැරි අය ඇතුළත් වන කුලකයයි. අර පෙර කී දෙවන කුලකයට මා ඇතුළත් නොවන්නේ නම් ඇතුළත් විය යුතු මේ අවසනට කී කුලකයට
ය. කුමන කුලකයට මා ඇතුළත් කරණවා දැයි යෝජනා කළ යුත්තේ මේවා කියවන විමසන ඔබයි.
කියවන විඳින ලෙස නොකීවේ විඳින්න ට හැකි සේ ඉදිරිපත් කරන්නට මා පොහොසත් විනි දැයි
නොදන්නා බැවිනි.
කවි ගී ඈ නිර්මාණකරණයේ යෙදෙන්නට නම් තමන් නියැලෙන බසෙහි වියතෙකු
වීම වඩා යෝග්‍යය. එහෙත් බසෙහි වියතෙකු වූ පමණින් කව් ගී ලිවිය හැකි නම් එවැනි
සැවොම කවියන් ගීත රචකයන් වනු ඇත. නමුත් ප්‍රායෝගික කරුණ නම් එය එසේ නොවන බවයි. මේ
නිසා භාෂා හැකියාවත් කාව්‍යකරණයේ බුහුටි කමත් යන දෙකම මිශ්‍ර ව ඇති තැනැත්තා එම
කාර්යය ඉටු කරයි. එම හැකියාවන් වැඩි වන විට නිර්මාණයේ උසස් බව වැඩි වෙයි. එකිනෙකා ද
ඒ අනුව එකිනෙක නිර්මාණ ද මේ නිර්මාණ මං තලාවේ එක් එක් මට්ටමෙන් බැබලෙනුයේ එබැවිනි.
ඉතින් මේ එහි දී මා නෙළූ මල් මිටයි. යම් දිනක පොතකට ගොනු
කරන අදහසින් මේ කවි මෙලෙස මෙහි අමුණමි.
සමහර විට මුල් කවිය හෝ මුල් ගීතය ද නිර්මාණකරුවන් ගැන ද එහි
වගතුග ද පරිවර්ථිත කව ද ලෙස ද ඒවා මෙහි පළ
වෙයි.
මා ඉන් ලැබූ යම් රසක් වේ ද එය බෙදා හදා ගැනීමට ගන්නා
දුප්පත් වෑයමකි මේ. වඩාත් ම මේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියතුන් සඳහා නොවේ. මා හා
සම ව සිටින හිතවතුන් වෙනුවෙනි.
ඊට පෙර කිව යුතු යම් දෙයක් ද වෙයි. කවි මිතුරු, ජ්‍යේෂ්ඨ සොයුරු
හෙන්රි වර්ණකුලසූරිය
වරක් මේ පරිවර්තිත නිර්මාණ පිළිබඳ
යම් අදහසක් පළ කළේය. ඒ පිළිබඳ ව මා මේ අදහස පළ කරන්නේ ඔහු හා විවාදයට පිවිසුමට
නොවේ. එවන් සමහර අදහස් වලට මා එකඟ නොවන හේතුව යම් මට්ටමකින් කීමටය. මෙය උපුටා
දැක්වුවා කියා ඔහු උරණ නොවන බව මා දන්නා කරුණකි. ඔහු එම අදහස දැක්වුවේ ද, ඒ සඳහා මගේ
මේ ප්‍රතිචාරය ද එකම අරමුණක් සඳහා වන බව ඔහු දන්නා බව මා සිතන බැවිනි.
ඔහු වරක් පරිවර්තන කවි සඳහා වූ මුහුණු පොතේ පිටුවක මෙසේ
කියා තිබුණි.
සමහර පරිවර්තිත/අනුවර්තිත කවි කාව්‍යාත්මක
ගුණයෙන් තොරව අදහස සෘජු ලෙස කියාපාන ලෙස ලියැවෙනවා. සමහර විටෙක ඒ පද දිග හැරියොත්
වාක්‍ය පමණයි.
හෙන්රි අයියාගේ මේ කියමන මවිසින් යම් මට්ටමකට පිලිගැනෙන අතර ම
යම් මට්ටමක ට මගේ විවේචනයට ද හේතු වෙයි. එහෙත් ඊට පෙර නැවත ඔහුගේ කියමන මතකයට
ගනිමු.
සමහර පරිවර්තිත/අනුවර්තිත කවි කාව්‍යාත්මක
ගුණයෙන් තොරව අදහස සෘජු ලෙස කියාපාන ලෙස ලියැවෙනවා. සමහර විටෙක ඒ පද දිග හැරියොත්
වාක්‍ය පමණයි.
පහර දීමකට පෙර .....
============================
ගී
ගයති සොල්දාදුවෝ මරණයට යද්දීත්
නමුදු
මරණයට මොහොතකට පෙර
හඬන්නට
ඉඩ ඇත අයෙකු
යුද
බිමේ වඩාත් බිය ගෙන දෙන්නේ
ළඟා
වන බව දැනෙන විටයි
මරණය
කඩිනමින්....
මෝටාර්
වෙඩි පහරට හිම බිම හෑරෙන විට
තවත්
නෑ සුදක් කළුම කළු පැහැ දූවිලි මිස
උණ්ඩයට
ගොදුරුව මිතුරා මැරී වැටෙන විට
තවමත්
ජීවත් වෙමි දැනදැනත්
ඊළඟ
ගොදුර මා බව....
කාන්දමක්
වේවිද මා
පියාඹා
යන උණ්ඩ වලට
ඒත්....පිපිරුමක්......අහෝ...!
ඈත්
විය තවත් වරක් මරණය මගෙන්
මිය
ගොසින්ය ලුතිනන්වරයා මා අසලම වූ
නමුදු
ශක්තිය ඇත තවම
නැවතී
බලා ඉන්නට වැතිරී
අයිස්
කඳු මත හෑරූ ආරක්ෂක අගල් වල...
අමතක
කරන්නට
රුදුරු
බව මන්ද මාරුතයේ
රස
බලමු සීතල වොඩ්කා වල
සූරා
දමමින්
අපේ
නියතුඩු අතර රැඳී වියැලුණු
අනෙකුන්ගේ
ලේ කැටි.
මේ හෙන්රි වර්ණකුලසූරිය විසින්
කළ අපූරු පරිවර්තන කවකි. එය ඇසුරින් ම ඉහත ම විසින් උපුටා දක්වන ලද ඔහුගේ කියමනට
ඇති මගේ විවේචනය ඉදිරිපත් කරණු රිසි වෙමි.
ඒ සඳහා මම හෙන්රි අයියාගේ ඉහත කවෙහි වැකි දිග
හරිමි. පිලිවෙල වෙනස් කරමි. වැකි එලෙසින්ම නොවෙනස්ව තබමි.
මරණයට යද්දීත් සොල්දාදුවෝ පහර දීමකට
පෙර ගී ගයති.
නමුදු මරණයට මොහොතකට පෙර අයෙකු හඬන්නට ඉඩ
ඇත.
යුද බිමේ වඩාත් බිය ගෙන දෙන්නේ මරණය
කඩිනමින් ළඟා වන බව දැනෙන විටයි.
මෝටාර් වෙඩි පහරට හිම බිම හෑරෙන විට කළුම
කළු පැහැ දූවිලි මිස තවත් සුදක් නැත....
උණ්ඩයට ගොදුරුව මිතුරා මැරී වැටෙන විට ඊළඟ
ගොදුර මා බව දැනදැනත්තවමත් ජීවත් වෙමි
පියාඹා යන උණ්ඩ වලට මා කාන්දමක් වේවිද?
අහෝ...! ඒත්....පිපිරුමක්......
මරණය තවත් වරක් මගෙන් ඈත් විය.
මා අසලම වූ ලුතිනන්වරයා මිය ගොසින්ය
නමුදු නැවතී අයිස් කඳු මත හෑරූ ආරක්ෂක
අගල් වල වැතිරී බලා ඉන්නට තවම ශක්තිය ඇත.
මන්ද මාරුතයේ රුදුරු බව අමතක කරන්නට
අපේ නියතුඩු අතර රැඳී වියැලුණු
අනෙකුන්ගේ ලේ කැටි සූරා දමමින්
සීතල වොඩ්කා වල රස බලමු.
මෙය අරුත් දනවයි. එහෙත් කාව්‍යාත්මක හැඟීම් එහි දුලබ ය.
එසේ වුව ද අරුතේ රසයත් ගද්‍යයේ රසයත් එය ඉවත හෙළීමට ලෝබ දෙයක් ලෙස අප අතේ ම දිගටම
රඳවා තබයි. ඒ හෙන්රි වර්ණකුලසූරිය නමැති ඉංග්‍රීසි
දැනුමැති පරිවර්තකයාගේ පරිවර්තනයයි.
මෙම වැකි වල ඇති වදන් ම ඔහුගේ කවි
සිත මගින් සෙමෙන් පරෙස්සමින් තෝරා නිසි ලෙස පෙළ ගැස්සවා විරාම ලකුණු තබා
ඇමිනූ විටය හෙන්රි වර්ණකුලසූරිය නමැති කවියා මතුවන්නේ. ඔහුගේ පරිවර්තිත
කව නිම වන්නේ. එබැවින් කවිය කඩා වැකි හදනවාට වඩා අප උනන්දු විය යුත්තේ වැකි
වල වදන් නිසි ලෙස පෙළ ගස්සවා ඒවාගේ කවි ගුණය සුරැකීමට ය.
ඒ අනුව ඉහත වැකි වල වදන් නිසි ලෙස පෙළ ගැස්වූ හෙන්රි වර්ණකුලසූරිය නම් වන මිනිසාගේ
නොව හෙන්රි වර්ණකුලසූරිය නම් වන කවියාගේ පරිවර්තනය නැවත කියවමු. විඳිමු. මගේ අදහස
පැහැදිලි වනු ඇත.
පහර දීමකට පෙර .....
============================
ගී ගයති සොල්දාදුවෝ මරණයට යද්දීත්
නමුදු මරණයට මොහොතකට පෙර
හඬන්නට ඉඩ ඇත අයෙකු
යුද බිමේ වඩාත් බිය ගෙන දෙන්නේ
ළඟා වන බව දැනෙන විටයි
මරණය කඩිනමින්....
මෝටාර් වෙඩි පහරට හිම බිම හෑරෙන විට
තවත් නෑ සුදක් කළුම කළු පැහැ දූවිලි මිස
උණ්ඩයට ගොදුරුව මිතුරා මැරී වැටෙන විට
තවමත් ජීවත් වෙමි දැනදැනත්
ඊළඟ ගොදුර මා බව....
කාන්දමක් වේවිද මා
පියාඹා යන උණ්ඩ වලට
ඒත්....පිපිරුමක්......අහෝ...!
ඈත් විය තවත් වරක් මරණය මගෙන්
මිය ගොසින්ය ලුතිනන්වරයා මා අසලම වූ
නමුදු ශක්තිය ඇත තවම
නැවතී බලා ඉන්නට වැතිරී
අයිස් කඳු මත හෑරූ ආරක්ෂක අගල් වල...
අමතක කරන්නට
රුදුරු බව මන්ද මාරුතයේ
රස බලමු සීතල වොඩ්කා වල
සූරා දමමින්
අපේ නියතුඩු අතර රැඳී වියැලුණු
අනෙකුන්ගේ ලේ කැටි.
-
හෙන්රි වර්ණකුලසූරිය -
මේ පිලිතුර හෙන්රි
අයියාට නොවේ. හෙන්රි අයියා කවි ලියමින් ම විවේචනය කරන්නෙකි. ඒ අනුව ඔහුගේ විවේචනය කවියේ
සාධනීය හෙටක් උදෙසා ය. එහෙත් කවි නොලියන, කවි ලියන්නට බැරි, රස විඳින්නට ද බැරි හුදු
විවේචකයින් සමහරක්ද මෙවැනි මත දරන්නේ කවියේ හෙට දවස සුරකින්නට ම නොවේ. එහි අද දවසේ
හවුල් කරුවන්ට ද පහර ගැසීමේ අරමුණ ද ඇතිවය. මේ පිලිතුර ඊට ගැලපෙන බහුතරයට ය. ( එම
හැඳින්වීම අදාල නොවන අය මින් කලබල නොවනු ඇතැයි සිතමි. )
මෙවන් යම් සංවාදයකදී ම විසින් දැක්වූ අදහසක් ද මෙයට
ඇතුළත් කරමි.
පරිවර්තන කවි මතු නොව, සිය බසින් කරණ කවි වල පවා, කවි නම්, කාව්‍යමය ගුණය සුරැකිය යුතුම ය.
පරිවර්තන කවියටත් මෙය පොදු රීතියක් වෙයි. ඒ ගැන කිසිදු තර්කයක් නැත. පරිවර්තන කවියක
දී ඒ තුළින් මුළ් කවෙහි හැඟීම් සහ අනෙකුත් ගුණ සුවඳ වහනය විය යුතුය, පරිවර්තනයෙන්
පසුවත්. එමෙන් කාව්‍යමය ගුණය ද සුරැකිය යුතුය. ඒත් මේ කවි දෙකම එක ම අච්චුවක විය
යුතුයි කියා කවුරුන් හෝ කිව්වොත් ඒ අදහසට
මම එකඟ නොවෙමි. Rhyme වන බටහිර කවියක් පරිවර්තනය වූ විට සමහර
විට නිසඳැස් ආකෘතියේ විය හැකියි. එය සිංහලෙනුත්
Rhyme වන්නට සඳැසක් සේ බලෙන් ලියන්න ට ගියහොත් කොණ්ඩ කැවුම් හදන්න ගොස් හැඳි
කැවුම් හැදුණා වැනි දෙයක් වනු ඇත. පරිවර්තකයා හුදු භාෂා දැනුමින් පමණක් සන්නද්ධ
නම් මෙය වනු ඇත. එහෙත් පරිවර්තකයා කවියෙහි ප්‍රවීනයෙකු නොවුණ ද කවිකම හිතේ ඇති
පුද්ගලයෙකු නම් ඔහු හෝ ඇය අතින් පරිවර්තනය වූ නිර්මාණයෙහි ද කවිකම ඇඳී තිබෙනු
දැකිය හැකි වෙයි.
කෙසේ වෙතත් එකිනෙකා දකින සහ සිතන විදිහ මත
මේ අදහස් වෙනස් වනු ඇත. වෙනස් විය හැක. නිර්මාණකරණය
තුළ කිසිම තැනක මේ පිළිබඳ නීතිය මෙය ය යන්නක් නැත. නිර්මාණකරුවාට බලපාන්නේ
නිර්මාණකරණයේදී පනවා ගත් හැදියාවන් සමූහයකි. මර්ධනකාරී නීති රීති රටාවක්නොවේ.
පරිවර්තකයා පෙර නිර්මාණයේ ගුණ හැකිතාක් සුරකින්නට වෙහෙස දරණුයේ මේ අරුත ද පෙරදැරිව
ය. ඔහු අනෙකක් කිරීමේ අරුතින් සිය පරිවර්තනය නොකරයි. ඔහුට ඇත්තේ තමන් විඳි වෙනස්
සාහිත්‍යයක අපූරු රසය තම බස හසුරුවන අය හා බෙදා හදා ගැනීමේ උතුම් අරමුණකි. එය ද
පෙරදැරිව ඔහු සිය සාහිත්‍යමය කටයුත්ත ඉටුකරයි. එය සාහිත්‍ය මෙහෙවරක් වනුයේ ඉන්
සමාජයට ලැබෙන යහපත් ප්‍රතිඵලවල වටිණා කම මතය. එයට අගයක් ලැබෙනුයේ රසික සහ විචාරක
ඇසින් විනිස වූ විට ය. එතෙක් ඔහු සිය නිර්මාණ කටයුතු ඉටුකරමින් සිටී. ඒ තුළින්
අත්දැකීම් ලබමින් පරිනත බව ලබා ගනී. දියුණුව කරා එළඹෙයි. මෙය ය නිර්මාණකරණයේ
රූපාන්තරණය.
අවසන, කිව යුතුම දෙයක් වෙයි. විදෙස් සාහිත්‍යයක
හමුවන කාව්‍යමය ගුණය වෙසෙසින් රැකගෙන කළ නොහැකි කවි ගී නිර්මාණ එමට වෙයි. එවන් නිර්මාණයක්
වෙත්නම්, කවියට
හැකිතාක් සමීප සුමට බසින් හෝ එය පරිවර්තනය කල යුතු ය. එය කවි බසට පෙරළිය නොහැකි
බැවින් එහි රස සපුරා විඳීමට කෙනෙකුට නොහැකි විය හැක. එහෙත් ඒ හේතුව නිසාවෙන් ඉන් බිඳක
හෝ රස බැලීමට එම භාෂාවේ ප්‍රවීනයින් නොවන අයට තහනම් නොවිය යුතුය.
මේ කවි සියල්ල මා පරිවර්තනය කළේ ද ඒවා මෙහි පළ කරන්නේ ද
එවන් අදහස් ඇතිව ය. ඉදින් මේ දිගහැරෙන්නේ ඒ උත්සාහයේ සමහර ඵලයන් කිහිපයකි.
මුළින් ම මේ කවි එකතුවට නම් ලැබීමට හේතු වූ කවෙන් ම එය
අරඹමි.
Prayer Before Birth
I am not yet born; O hear me.
Let not the bloodsucking bat or the rat or the stoat or the
club-footed ghoul come near me.
I am not yet born, console me.
I fear that the human race may with tall walls wall me,
with strong drugs dope me, with wise lies lure me,
on black racks rack me, in blood-baths roll me.
I am not yet born; provide me
With water to dandle me, grass to grow for me, trees to talk
to me, sky to sing to me, birds and a white light
in the back of my mind to guide me.
I am not yet born; forgive me
For the sins that in me the world shall commit, my words
when they speak me, my thoughts when they think me,
my treason engendered by traitors beyond me,
my life when they murder by means of my
hands, my death when they live me.
I am not yet born; rehearse me
In the parts I must play and the cues I must take when
old men lecture me, bureaucrats hector me, mountains
frown at me, lovers laugh at me, the white
waves call me to folly and the desert calls
me to doom and the beggar refuses
my gift and my children curse me.
I am not yet born; O hear me,
Let not the man who is beast or who thinks he is God
come near me.
I am not yet born; O fill me
With strength against those who would freeze my
humanity, would dragoon me into a lethal automaton,
would make me a cog in a machine, a thing with
one face, a thing, and against all those
who would dissipate my entirety, would
blow me like thistledown hither and
thither or hither and thither
like water held in the
hands would spill me.
Let them not make me a stone and let them not spill me.
Otherwise kill me.
- Louis
Macneice -
Louis Macneice
විසින්
The prayer before birth නම් වූ මේ කවිය ලියැවී ඇත්තේ ඒකපාත්‍ර භාෂනයක් ලෙස ය. ඒ
දෙවන ලෝක මහා සංග්‍රාම පාදක කරගෙන ය. WAR යනු අකුරු තුනක වචනයක් වුව එහි අඳුරු විපාක මිනිය නොහැකි
තරම් පීඩාකාරීය. හිංසාකාරීය. ඒ සෑම හැඟුමක් ම වචනයෙන් කිව නොහැකි තරමට කුරිරු ය .
සංග්‍රාමයේ මේ කුරිරු ආදීනව උපදින්නට පෙරුම් පුරන නව ලොවට කෙසේ විඳින්නට වේද? මෙය නූපන් කලලයක් තමා හට වසන්නට වඩා
යහපත් ලොවක් සාදා දෙන මෙන් පවතින ලෝකයෙන් කෙරෙන අයැදුමකි. එවන් ලොවක් තැනිය නොහැකි
නම්.......? එසේ නම් දිනුමට වඩා මරණය යෙහෙකි...යනුවෙන් එම
කලලය ලොවට කියයි.
මේ නම් කලලයක් උපදින්නට පස්මහ බැළුම් බලනවා සේ බලා මේ අඳුරු
ලොවට තමන් ජනිත නොකරන ලෙස කෙරෙන අයැදුමකි ය වැනි මතුපිට අරුතක් නොවේ. කවියා යුද්ධය
නම් කුරිරු පීඩාකාරී අත්දැකීමට ඇති සිය විරෝධය උත්ප්‍රාසයෙන් යුක්තව කීමට ගත්
මෙවලමයි මේ කලල රූපය.
යුද්ධය අපට නුහුරු අත්දැකීමක් නොවේ. 30 වසරකට ආසන්න
කාලයක් තිස්සේ අප විවිධ මට්ටමින් එහි පීඩාකාරී බව අත්දැක ඇත. එහෙත් එහි නියම
පීඩාකාරී බව අත්දුටුවා යැයි කිව නොහැක. අපට බොහෝ විට ඇත්තේ එහි අත්විඳීම් ය.
සැබෑ යුද්ධයට මැදි වූවන්ගේ අත්දැකීම් අපට සිතිමට යම් පමණ
හෝ හේතුවක් වන්නේ අප රටේ එලෙස පැවති පීඩාකාරී යුද්ධයයි. එහෙත් ලෝක සංග්‍රාමයකදී
ලෝකය ම යුධ පිටියක් වූ පරිසරයක මේ තත්වය කෙබඳු වන්නට ඇතිද? මේ ඊට සංවේදී වූ එක් කවියෙකුගේ එක්
නිර්මාණයක් පමණි.
පූර්ව ප්‍රසූත
අවධියේ
යාඥාකරුවා...
තාම නූපන් මා අසනු මැන...
අවකාශ නොදෙනු මැන
ළංවන්න මා අසලට
උණු රුහිරෙන් යැපෙන
වවුළන්.....මීයන්... මුගටියන් ට සහ
උපතින්ම විරූපී අඟපසඟැති
වේතාලයින් හට.....
තාම නූපන් මා සනසනු මැන,
මම බියවෙමි
උස් පවුරු පදනම් තුළ කොටුවුණු
මිනිස් වංශිකයින්
වටකරතැයි මා ද එවන් ම උස් පවුරින්
නිද්‍රෝපගතකරතැයි මා
ප්‍රබල ඔසු වලින්
හසුකර ගනිතැයි මා
සත්‍යය මේ යැයි හැඟෙන සේ
සූක්ෂම ලෙස ගෙතූ
බොරුව නම් වූ ඇමට
කොටුකරතැයි මා අන්ධකාර රාමුවකින්
නහවා ලේ විලක සුනු විසුනු කරතැයි...
තාම නූපන් මට ලැබදෙනු මැන....
සිසිල් දිය මා වඩා සනසන
ළදළු තණපත් මා නමින් වැඩෙන
තුරු ලතා මා හට දොඩමළු වීමට
සොඳුරු වැට කඩොළු නැති අහස
මා හට ගී ගැයුමට
සියොතුන් සහ ධවල එළියක්
මගේ චිත්ත සන්තානය පසුපස සිට
මා හට නිසි මග කීමට.....
තාම නූපන් මා හට කමා කරණු මැන...
ක්ලේෂයන්ට මා තුළ ඇති
ලෝකයා මට බලෙන් පවරන
මා වදන්වලට
උන් මා හා විපිලසර වන විට
මා මුවින් පිටවෙන
මා සිතුවිලි වලට
අන් අය මා ගැන සිතන විට උපදින
රාජද්‍රෝහී බවට
මා පසුපස සිටින ද්‍රොහීන් විසින් උපදවන
මා දිවියට ඔවුන් වෙනුවෙන්
මාතින් ම ගෙළ සිඳින
මගේ මරණයට
ඔවුන් මා ජීවත්කරවන්නට සදන....
තාම නූපන් මා
හුරු පුරුදු කරනු මැන
මවිසින් දැක්විය යුතු ම ඉඟි නළුවලට
වෘධ වියතුන් මා හට දෙසන විට
නිලධරුන් තර්ජනයෙන් මා බියවද්දන විට
ගිරිකුළු පවා මා දැක රවන විට
ආදරවන්තයින් මා හට සරදම් කරණ විට
සුසුදු රළ මා අනුවන කම් වෙත කැඳවන විට
කාන්තාර මා විනාශය කරා කැඳවන විට
යාචකයින් පවා මා පඬුරු නොතකන විට
මගෙ ම දරුවන් පවා මට ශාප කරණ විට.....
තාම නූපන් මා අසනු මැන....
ඉඩ නොදෙන්
මෘගයින් වන් මිනිසුන්ට හෝ
දෙවියන් තමන් යැයි
තමන්ම කියා ගන්නා මිනිසුන්ට
ළංවිමට මා අසලට....
තාම නූපන් මා සපුරනු මැන
ශක්තියෙන්
එරෙහි වීමට
මිනිසත් බව මා සතු
නොමිනිස් කෙරුමට
පැමිණෙන්නවුන් හට.....
මාරාන්තික අදිසි යාන්ත්‍රණය වෙත
මා තල්ලු කරන විට.....
විසල් යන්ත්‍රයක සිඟිති දැති රෝදයක් මෙන්
මා මෙහෙයවන විට......
එවනු මැන බලසම්පන්න යමෙක්
එරෙහි වන
මගේ සාකල්‍යය විසුරුවාලන
පුලුන් රොදක් සේ මා ඔබ මොබ ගසා ගෙනියන
අත්ල මත රැඳවූ දිය සේ මා වගුරවා විසුරුවන
බලවේගයන්ට.....
ඉඩ නොදෙන් ඔවුනට මා
සෙල්මුවා මිනිසෙකු කෙරුමට
හෝ
මා ඉහිරුවාලීමට....
එසේ කළ නොහැකිනම්
යහපති,
මා මරා දමනු මැන....!
ඉපදෙන්නට පෙරාතුව ම........
අන් බසින් සිය බසට නැඟීමේ උත්සාහය,
- යසනාත් ධම්මික බණ්ඩාර -





No comments:
Post a Comment