යුද්ධය පිළිබඳ විවිධ දෘෂ්ඨිකෝණ වලින් බලා කළ නිර්මාණ
කොතෙකුත් අපට හමු වෙයි. මේ එවැනි තවත් නිර්මාණයකි.
Old poem
=============
At fifteen I went with the army,
At fourscore I came home.
On the way I met a man from the village,
I asked him who there was at home.
'That over there is your house,
All covered over with trees and bushes.'
Rabbits had run in at the dog-hole,
Pheasants flew down from the beams of
the roof,
In the courtyard was growing some wild
grain;
And by the well, some wild mallows.
I'll boil the grain and make porridge,
I'll pluck the mallows and make soup.
Soup and porridge are both cooked,
But there is no one to eat them with.
I went out and looked towards the east.
While tears fell and wetted my clothes.
Arthur Waley
මෙම කවෙහි හිමිකරුවා අඥාත චීන ජාතික කවියෙකි. එම කවිය
පසුව
Arthur Waley
නම් කවියා විසින් ඉංගිරිසියට පරිවර්තනය කරණ ලදි.
මෙහි කතාකායකයා හමුදා සොල්දාදුවෙකි. යුද්ධයට බැඳි ඔහු
ගමෙන් පිටවන විට යන්තම් දැලි රැවුලක් සහිත ( අවුරුදු 15 ක ) යෞවනයෙකි. යුද්ධයෙන්
අනතුරුව ඔහු නැවත ගමට එන විට ගමෙන් අරන් ගිය දැලි රැවුළ පුළුන් වන්පැසුනු එකකි. (
ඔහු අවුරුදු 80 ක පමණ මහල්ලෙකි. )
ගෙවුනු වසර ගණනක කාලය තුළ ඔහුගේ නිවසේ ග්‍රාමයේ ඇති වුනු
වෙනස් කම් ගැන ය මෙහි කතාව. මේ වෙනස් කම් මොනවාද? වෙනස් කම් යනු අහිමි වීම් බව මේ කව තවත් කියවන විට වැටහෙනු ඇත.
ඔහු ගමට එන අතර මග ගමෙන් පිට ව යන මිනිසෙකු මුණ ගැසෙයි. ඒ
එක ම මිනිසා හැර අන් කිසිවෙකු ඔහුට මුණ නොගැසෙයි. මුණගැසුනු ඒ එකම එක මිනිසාගෙන්
ඔහු තම නිවස... නිවැසියන් ගැන විමසයි. එහෙත් ඔහුට ලැබෙනුයේ හිස් පිලිතුරකි.
ඔහු ගමට නිවසට පිවිසෙන්නේ දහසක් පැතුම් පොදි බැඳගෙනය. තම සමීපතමයින්.... තම
නිවහන.... තම ග්‍රාමය.... තම අසල්වැසියන්..... මේ සියල්ල දකිනු රිසියෙනි. ඒ
රිසියාව කෙලෙස නම් විස්තර කළ හැකිද? එහෙත් ඊට ලැබෙන පිලිතුරු කුමක්ද?
සිය නිවස ගරා වැටී ඇත. වහළයේ උළු දුර් වර්ණ ය. තැන තැන
උළු ගැලවී ඇත. වහළයට ඉහළින් වැසුනු කැලෑ රොදකි. ඉන් නිවසක්එහි තිබුණු බවක් හඳුනා
ගත හැක්කේ උවමණාවෙන් ම බලන්නෙකුට පමණකිය
නිවසේ නිවැසියන් නැත. නිවැසියන් තබා නිවැසියන්ට හිතවත් ව
සිටි සුනඛයින් වත් නැත. සුනඛ කූඩුව නිවහන කරගෙන සා-යුවලක් රජ ව සිටින්නේ එබැවිනි.
සත්‍යය නම් යුද්ධය නිමා වී එන විට තමන්ට කිසිත් ඉතිරිව
නැති බවයි. දිනූවන් කවුරුද?
පැරදුනවුන් කවුරුද? දිනූවන් ද අවසන පැරදී ඇතිවා නොවේද?
සියල්ල අහිමිවුන ද ඔහුට තවමත් සිය ගම.... නිවස....
සැනසිලි දායක තැනක් වෙයි. එබැවින් ඔහු එහි වෙසෙන්නට උත්සාහ ගනී. විවිධ බාධක ඔහුට
බාධක නොවෙයි. කෑමට බීමට ඇති දේ මොනවා වුණත් ඔහුට කම් නොවෙයි. ඒ ඔහු මේ බිමේ
පැලවුණු බීජයකින් උපන් රුකක් වූ බැවිනි.
අන් සියල්ල ජයගත හැකි නමුදු ඔහුට ජය ගත නොහැකි වන
එක්දෙයක් වෙයි. ඒ හුදකලා බවේ මූසල කමයි. එය ඉවසනු නොහැකි වූ තැන ඔහු තව දුරටත්ගමේ
සිටිය හැකිද යන තැනට පත් වෙයි. එහෙත් ඔහුම නැවත තම උපන් ගම නිවස හැර දමා යා නොහැකි
මානසිකත්වයට එළඹෙයි. ඔහු නිවසට පිටුපා ඈත පෙරදිග දෙස බලයි. බලාපොරොත්තු සහගත ව
බලයි. කිසිවෙකුත් ඒ දැයි බලයි. සිය කඳුලින් දෑස බොඳවී ඒ කඳුළ ගලාවිත් සිය කබාය මතට
වැටී තෙත පැල්ලමක් ඇතිවන තේක් ම බලයි. එහෙත් කිසිවෙක් නො එයි. කිසිවකුත් නොපෙනෙයි.
අවසාන උරුමය වන හුදකලා බව පමණක් ඔහුට තනි රකියි.
Old poem
==============
යන්තමට දැලි රැවුළ
උඩු තොළට උඩින් ගෙන
රණ බිමට පිය නැගිමි
වත පුරා පුළුන් වන්
සුදු රැවුළ පළඳාන
යළිදු ගම රට ආමි.....
අතර මග මා නැවත එන මග
දුටිමි මිනිසෙකු
ගම දෙසින් විත් කොහේ හෝ යන
ඇසිමි වග තුග
පුන පුනා නැගි කුහුළ අතරින
මගේ නිවහන.... නිවැසියන් ගැන...
***********************************
“ බොහෝ සරුවට වැඩී
රජ කරත් තුරු ලතා
නොපෙනේ උළු වහළ ඉන් වැසී....
පෙනුනත් නොවෙයි එහි රත
දිය සෙවෙළින් අඳුරු කර ඇත....
බලු කූඩුවේ ළගින්නේ
අහිංසක සා යුවලක්
නොමැතිව බියක් හැකක්.....
පියස්සේ කුරුපාවට අරක් ගෙන
පරවියෝ පෙම් කෙළිත්
කුරු කුරු හඬින් ගී ගයත්.....
උයනක සිරි පිරුණු ගෙමිඳුළ
මල් පැළ දුක් විඳිත්
යට වී
තරගයට දළුලන
ළඳු කැලෑවට.....
පාත්ති පුරා
සාරවත් එළවළු නොමැත දැන්
කැඳට වත් යමක් වේ නම් සරිලන
තෘණ පත් හෝ වල් පලා කොළ පමණමය.....”
***********************************
පිසින්නෙමි කැඳ
ඉබේ වැඩුණු ධාන්‍යයෙන්
සදන්නෙමි සුපයක්
වල් පලාකොළ නෙලමින්......
පිසී අවසන්ය කැඳ ද සුපය ද
එහෙත් කා සමග
වළඳන්න ද එය...
ගමට බැඳි දෘඩ පෙමින
නොයා අන් නුවරක
රැඳෙනු රිසි වුව ගම් පියස
තවත් නම් දරාගත නොහේ මේ
හුදකලාව....
කටුක දුක....
ඉදින්
මම්
නිවසට පිටුපා ඈත
ඈත පෙරදිග දෙස බැලිමි...
බලාපොරොත්තු දල්වාන.....
කිසිවෙකුත් ඒදැයි
බලාපොරොත්තු දල්වාන
එහෙත් එන කිසිවෙකු නොවිනි.....
දසුන වූයේ නෙතට
ඈත කම්මැලි කමට නිදන
කඳු වැටි පමණි
මොහොතකින් ඒ කඳුවැටි ද
බොඳ වී මැකින
ඇස ඉනූ කඳුළින්
මම දෙ ඇස් පිස දමා
ආ මග දෙසම බලා සිටියෙමි
යන්නද සිටින්නද
නොම දැන...
කොහේ යන්නද......
කොහොම ඉන්නද.....
අන් බසින් සිය බසට නැඟුමේ උත්සාහය
- යසනාත් ධම්මික
බණ්ඩාර -
කෙසේ වෙතත් ඉහත Old
poem පරිවර්තන කාර්යයේදී
මා මුළින්ම කළේ ඉහත පළ කර ඇති මුල් කවට අනුව කළ පරිවර්තනය නොවේ. එහිදී මා කළේ මුල්
කවිය අනුව පරිවර්තන කවිය ලියමින් ඉන් ඒ හැඟීමම ජනිතවන මුත් සමහර අවස්ථා සම්බන්ධයන්
වෙනස් කරමින් මුල් කවියේ ළඟ ඇසුරකින් නිමවුනු අළුත් කවියක් නිම කිරීමයි. ඒ මුල්
කවට බොහෝ සමාන නමුත් එයට වඩා යම් වෙනස් කම් රැගත් කව තව ටිකකින් පළ කරමි.
ඒ අනුව කළ වෙනස් කම්ද මෙහි ලා ලිවිය යුතුය.
සොල්දාදුවා යුද්ධය නිම කොට ගමට එන අතර ඔහුට හමුවන මිනිසා
ගමේ සිටි අවසන් මිනිසා ලෙස සලකායි මා එම නිර්මාණය කළේ. ඊ ළඟට මුල් නිර්මාණයේදී ගමට
එන සෙබලා එහි කටුකත්වය මඩිමින් ජීවත් වන්නට යම් අරගල කරතත් මගේ ප්‍රති නිර්මාණය කළ
කවෙහි ඔහු එක් දිනක් වත් ගමෙහි වසන්නේ නැත. අර මිනිසා කියන පණිවිඩය මත ඒ ගමේ තවත්
ජීවත් විය නොහැකි බව ඔහු වටහා ගනී. යුද්ධයෙන් අනතුරුව දහසක් පැතුම් පොදි බැඳ ආවත්
අතර මගදී ම ඒ පැතුම් කීතු කීතු ව ගොස් ඇත. ඒ නිසා කොහේ යම් දැයි නොදැන හේ ආපසු
හැරී ඈත ආ මග දස බලයි. එවිට කළින් මුණ ගැසුනු මිනිසා ඈත තිත්ක් නොපෙනී යනු ඔහුට
පෙනෙයි. ඔහු ඇසට උනන කඳුළින් ඒ දසුන ද බොඳ වී යයි. මෙය සෘජු පරිවර්තනය නොවේ. ඒ
මුල්කවියේ බොහෝ දේ ගෙන කළ වෙනත් නිර්මාණයක් වෙයි. එහෙත් එය මුල් නිර්මාණය නොවන්නේ
ද නොවෙයි. එය ද මෙහි පළ කරමි.
Old poem
==============
යන්තමට දැලි රැවුළ
උඩු කොළට උඩින් ගෙන
රණ බිමට පිය නැගිමි
වත පුරා පුළුන් වන්
සුදු රැවුළ පළඳාන
යළිදු ගම රට ආමි.....
අතර මග මා නැවත එන මග
දුටිමි මිනිසෙකු
ගමෙන් පිටවී කොහේ හෝ යන
ඇසිමි වග තුග
පුන පුනා නැගි කුහුළ අතරින
මගේ නිවහන.... නිවැසියන් ගැන...
***********************************
“ බොහෝ සරුවට වැඩී
රජ කරත් තුරු ලතා
නොපෙනේ උළු වහළ ඉන් වැසී....
පෙනුනත් නොවෙයි එහි රත
දිය සෙවෙළින් අඳුරු කර ඇත....
බලු කූඩුවේ ළගින්නේ
අහිංසක සා යුවලක්
නොමැතිව බියක් හැකක්.....
පියස්සේ කුරුපාවට අරක් ගෙන
පරවියෝ පෙම් කෙළිත්
කුරු කුරු හඬින් ගී ගයත්.....
උයනක සිරි පිරුණු ගෙමිඳුළ
මල් පැළ දුක් විඳිත්
යට වී
තරගයට දළුලන
ළඳු කැලෑවට.....
පාත්ති පුරා
සාරවත් එළවළු නොමැත දැන්
කැඳට වත් යමක් වේ නම් සරිලන
තෘණ පත් හෝ වල් පලා කොළ පමණමය.....
ඊයේ ම කුස ගිනි නිවුවේ
එවන් වල්
පලා කොළ සුපයකි.....
නිදා ගත් ගෙබිම
තුරුළු වූයේ මා හා
වැලි මැක්කන්ද
මදුරුවන් හා හෝහපුටන්ය......
ගමට බැඳි දෘඩ පෙමින
නොයා අන් නුවරක
රැඳුනද ගම් පියස
තවත් නම් දරාගත නොහේ මේ
හුදකලාව....
කටුක දුක....
ඉදින් මේ මම
යන ගමන් අන් නුවරක.....”
***********************************
මම පිටුපා යන ඔහු දෙස බැලීමි....
නොපෙනී යන තුරා බැලීමි....
අනතුරුව දිස්වූයේ
ඈත කම්මැලි කමට නිදන
කඳු වැටි පමණි
මොහොතකින් ඒ කඳුවැටි ද
බොඳ වී මැකින.....
මම දෙ ඇස් පිස දමා
ආ මගට හැරුනෙමි
යන අතක් නොදැන
කොහේ හෝ යන්නට......
(මේ Old Poem මුල් කව සමීපව ඇසුරු කරමින් කළ නිර්මාණයයි )
- යසනාත් ධම්මික බණ්ඩාර -




No comments:
Post a Comment