Harlem
Hopscotch - Poem by Maya Angelou
හාර්ලෙම් හි බට්ටො
පැනුම
අද දවසේද, මගේ කතාව ඇගේ කවියක් ගැනම ය. ඈ නම්,
මින් පෙරද අපි කතා කොට ඇති,
මායා ඇන්ජිලෝ ය.
මායා ඇන්ජිලෝ
යනු, අප්‍රිකානු ඇමරිකානු කතක් බව පෙර සිටම ඈ ගැන දන්නා අයද,
මේ වන විට මේ බ්ලොග් අඩවියේ ඈ
ගැන සටහන් හා ඇගේ කවි කියවා ඇති අයද දන්නා කරුණකි.
මායා ඇන්ජිලෝ සිය කුඩා අවදියේදී
තමන්ද, තම සනුහරේ අනෙකුන්ද විඳි සහ පසුවටත් විඳි එමෙන්ම
විඳින්නට ඇති දුක් ගැහැට ගැනද, ඊට එරෙහිව ඇති ඇගේ විරෝධතාව පළ කරණු වස්ද,
ඊට එරෙහිව සිය මිනිසුන් කුළුගන්වනු
වස් ද ලියූ කිවි ය අපි මෙහි කතා කළේ.
මායා ඇන්ජිලෝ ගේ මේ Harlem Hopscotch කවියද ඇගේ එවන්ම කවියක් සේ අපට සැලකිය හැකි එකකි.
Harlem යනු, ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට යා බදව පිහිටි, අප්‍රිකානු ඇමරිකානුවන් බහුලව ජීවත් වෙන, විසල් ප්රදේශයකි. Harlem ප්‍රදේශයේ ජන දිවිය මෙන්ම සංස්කෘතික ලක්ෂණද මේ අනුව ප්‍රධාන
රටේ ලක්ෂණ වලට වඩා වෙනසක් ඇත. ඒ අතරේ විසල් පරතරයක් ද ඇත. රටේ අන් වැසියන් දෙව් ලෝ
සැප ලබන්නේ නම්, මේ
පෙදෙසේ වැස්සන් ඉතිහාසය පුරා අත්වින්දේ අපා දුක් ගිනි ය. ඒ ගිනි මැද උපන් මායා ඇන්ජිලෝ ගේ ඊට එරෙහි ප්රකාශණයන්ය මේ කවි,
යන්නට දැන් ඔබට ඇවැසි තරම් පැහැදිලි හේතූන් ඇති. එහෙත් මේ ඒ ගැන සියළු කරුණු
දැක්වීමට අවස්ථාව නොවේ. ඇගේ කවියක් කවියක් ගානේ සිය බසට පෙරලමින් ඉදිරිපත් කරන්නට
ඇත් නම්,
ඒ හා සමඟම මේ ලෙසට ටිකෙන් ටික හෝ
ඈ ගැන කරුණු ඔබ වෙත පාන්නට හැකි නම් කියා මට ආශාවක් ඇති වෙයි. සියල්ලම නැතත්,
හැකි තරම් කරමියි යන අදිටනින්
දැවෙමි.
Hopscotch යනු අපේ බට්ටෝ පැනීමේ ළමා
ක්‍රීඩාව හා සමාන ක්‍රීඩාවකි. යම් යම් වෙනස් කම් ඇතත්,
මූලික ලකුණු අතින් එය එවැනිම ක්‍රීඩාවකි.
මේ කවියේ මාතෘකාව, Harlem Hopscotch හාර්ලෙම් හි බට්ටන්
පැනීම නම් වෙයි. එවිට මෙය කුඩා ළමුන්ගේ බට්ටන් පැණීමේ ක්‍රීඩාව ගැන කවකැයි ඔබට
හිතෙනු ඇත. ගැඹුරින් නොබැලූ විට එය එලෙසින්ද සිතිය හැකිය. එහෙත් ගැඹුරින් හිතන කල,
මෙය කුඩා ළමුන්ගේ බට්ටන් පැණීමේ
ක්‍රීඩාව ලෙස එම ජන කොට්ඨාශයේ මිනිසුන්ගේ ළමා කාලයට පමණක් සීමාවන ක්‍රීඩාවක් නොවන
වග පෙනී යයි. තවත් විමසන කල, එය ක්‍රීඩාවක් නොව ජීවිතයේම කොටසක් වන බව පෙනී යයි.
මේ එම කවයි.
Harlem
Hopscotch - Poem by Maya Angelou
One foot
down, then hop! It's hot.
Good things
for the ones that's got.
Another
jump, now to the left.
Everybody
for hisself.
In the air,
now both feet down.
Since you
black, don't stick around.
Food is
gone, the rent is due,
Curse and
cry and then jump two.
All the
people out of work,
Hold for
three, then twist and jerk.
Cross the
line, they count you out.
That's what
hopping's all about.
Both feet
flat, the game is done.
They think
I lost. I think I won.
මතු දැක්වෙන්නේ එම කවිය සිය බසට පෙරලීමට ගත් මගේ වෑයමයි.
උණුසුම්ය තරගය
පාදයක් බිම ගටා
ඉපිලෙමින් පනියි පිම්ම
හොඳම පිමි පැන්නවුන්
හොඳම දේ ලැබ ඇත
තවත් පිම්මක්,
එවර වමට ය
හැමකෙකුම තම තමන්
වෙනුවෙන් ය
මොහොතකට ගුවන තුළ,
අනතුරුව
පා යුගලම බිමට
කල්ලෙක් වන බැවින් ඔබ,
නැවතී රැඳෙන්නට ඉඩ නැත
අහරට කිසිත් නැත,
කුලී ගෙවුමට දින එළඹ ඇත,
සාප කරන්න,
හඬන්න,
එහෙත් නැවතී නොසිට,
ඊ ළඟට පිමි දෙකක් පනින්න
වැඩක් නැති හැමකෙකුම
තුන්වැනි පිම්මටත්
සැරසේය
නැවෙයි,
දුන්න සේ ගැස්සෙයි,
එවර ඒ පිම්ම
සීමා ඉරි කපාගෙන
ක්‍රීඩා පෙතින් ඉවතට
ඔබ දැවී ගිය අයෙකැයි
සංඥා කරති උන්
පැනීමේ සෙල්ලම එලෙසය
පා දෙකම බිම දිගා වී ඇත
දැන් ඉතින් ක්‍රීඩාව අහවරය
සිතනුයේ ඔවුන් නම්,
පැරදුණු බවය මා
මම නම් සිතනුයේ, දිනු
බවය මා
සිය බසට පෙරලීමේ
වෑයම,
යසනාත්
ධම්මික බණ්ඩාර.
මේ කවියේ අන්තර්ගතයෙහි නිරූපනය වන්නේ එම Hopscotch ළමා ක්‍රීඩාවේ ඇරඹුම සහ එහි පියවරයන්, එහි ඇති යම් නීති
රීති, අවස්ථා
ආදියයි.
ක්‍රීඩාවේ යෙදෙන්නා සහ යෙදෙන අවස්ථාව,
නීති පිලිපැදීම,
නීතියෙන් පිට පැනීම,
හොඳින් ක්‍රීඩා කිරීම, හොඳින්
ක්‍රීඩා නොකිරීම සහ දිනීම පැරදීම වැනි කරුණු ආශ්‍රිතව එය එකල අප්‍රිකානු ඇමරිකානුවන් ගේ ජන දිවියට සම්බන්ධ වන
අයුර කියා පෑමයි. ජාතිවාදයෙන්, වර්ණභේදයෙන්, වහල් බවින්, අන්ත දිළිඳු බවින්,
කුසගින්නෙන්, මිනිසුන් ලෙස පිළිනොගෙන වෙන්කොට සැලකීමෙන් බැට කන ඔවුනගේ අනවරත ජීවන
අරගලය මේ ක්‍රීඩාවේ අවස්ථාවන් සහ නීති රීති, ජය පැරදුම අනුසාරයෙන් කියා පෑමයි. විශේෂයෙන්
ඔවුනගේ ළමා වියේදී එල්ල වන එකී ජීවනාභියෝගයන් එහි සංඛේතවත් වෙයි.
කවියේ ඇරඹුම දෙස බලන්න.
උණුසුම්ය තරගය
පාදයක් බිම ගටා
ඉපිලෙමින් පනියි පිම්ම
හොඳම පිමි පැන්නවුන්
හොඳම දේ ලැබ ඇත
තවත් පිම්මක්,
එවර වමට ය
හැමකෙකුම තම තමන්
වෙනුවෙන් ය
ක්‍රීඩාවේ පළමු නීතියේ හැටියට බට්ටා පළමු කොටුවෙහි තබා එක්
පයක් බිම ගටා එම කොටුවට ඉහළින් ඊ ළඟ කොටුව වෙත පැනිය යුතුය. අනතුරුව ඊ ළඟ කොටු වෙත
පැනිය යුතුය.
මතු පිවිසුම ඔස්සේ ගොස්, එම ක්‍රීඩාව පිලිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකිය.
මෙය ළමා ක්‍රීඩාවක් සේ දැන් ප්‍රචලිත වුවද, එහි ඇරඹුම හමුදාවන්ගේ
දරා ගැනීමේ ශක්තිය වර්ධනය කිරීම සඳහා ඇරඹි එකක් බව පැවසේ. එහිදී ඔවුනගේ පපු පෙදෙසෙ
ද පිට පැත්තේද බර එල්ලා මේ කොටු වලට පනිමින් කොටුවක් හැර කොටුවක් පනිමින් එම ව්‍යායාමය
කළ බව පැවසේ. අනතුරුව එ් සඳහා නීති රීති ගොඩ නැගී ළමා ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත
වීලු.
ක්‍රීඩාව කවියට එන විට අදහස වනුයේ මේ පවතින නීති රීති
වලට අනුව තම ශක්තිය මත පැන තම තමන් වඩා හොඳ දෙයක් ලැබ ගත යුතු බවයි. නැති නම්, හොඳ
පිමි පනින්නෝ හොඳ දේ ලැබ ගන්නා බවයි. බැරි එකාට ඒවා අහිමි වෙයි.
ඊලඟට මෙහි ඇති වැදගත්ම දෙයක් නම්,
හැමෝම ලොකු කොටුවකට පැන ගැනීමේ
උත්සාහයක ය. තමන් වෙනුවෙන් පමණක් වන සටනකය.
මොහොතකට ගුවන තුළ,
අනතුරුව
පා යුගලම බිමට
කල්ලෙක් වන බැවින් ඔබ,
නැවතී රැඳෙන්නට ඉඩ නැත
අහරට කිසිත් නැත,
කුලී ගෙවුමට දින එළඹ ඇත,
සාප කරන්න,
හඬන්න,
එහෙත් නැවතී නොසිට,
ඊ ළඟට පිමි දෙකක් පනින්න
මේ කොටසේද ක්‍රීඩාවේ නීතියක් ගැන කියැවෙයි. එනම් ගුවනේ
පාවී පැමිණ අනතුරුව දෙපා එකවර බිම ගටා සිටිය යුතුය.
මෙය ජීවිතයට ආදේශ වන විට හැඟෙන්නේ කුමක්ද?
කල්ලන් වන ඔවුනට,
ගුවනේ පාවීම මොහොතකට පමණකි.
ඔවුන් සැනින් බිමට පැමිණිය යුතුය. පැමිණ සිය දෙපා මත සිට ගත යුතුය. අන් සරණක්
ඔවුනට නැත. සිය දෙපාම පමණකිය. එහෙත් රැඳී සිටීමටද ඔවුනට ඉඩක් නැත. සැනෙන් ඊ ළඟ
පිම්මට සූදානම් විය යුතුය. එක් පිම්මක් නොව දෙකක් වත් පැනිය යුතුය. ඒ ඇයි දැයි ද එහි මතක් කර දෙයි.
අහරට ඉතිරි කිසිත් නැත.
විවිධ වූ ගෙවීම් සඳහා නියමිත දින එළඹී හෝ පසු වී හෝ ඇත.
කොතෙක් අපහසු වුව, තුන්වැනි පිම්මකුත් ඔවුන් පැනිය යුතුය. නැවී,
දිගහැරී සැනින් පැනිය යුතුය. එහෙත්
සීමා ඉරි පරයා නොපැනිය යුතුය.
වැඩක් නැති හැමකෙකුම
තුන්වැනි පිම්මටත්
සැරසේය
නැවෙයි,
දුන්න සේ ගැස්සෙයි,
එවර ඒ පිම්ම
සීමා ඉරි කපාගෙන
ක්‍රීඩා පෙතින් ඉවතට
ඔබ දැවී ගිය අයෙකැයි
සංඥා කරති උන්
පැනීමේ සෙල්ලම එලෙසය
ක්‍රීඩාව වෙහෙසකර ය. එහෙත් ඔවුනගේ දිවි පෙවෙත ඊට වඩා
දහස් ගුණයක් වෙහෙසකරය. ක්‍රීඩාවේදී දිනන්නට නම්, නොකඩවා නීති රීති මත පිහිටා පැනිය
යුතුය. නීති රීති වලට පටහැනි පැනීම් දැවී යාමට හේතුවකි. එහෙත් දිවි ගමනේ පැනීම්,
නීතියට අනුව වේවා, නීතියට පටහැණිව වේවා, නොකඩවා පැනිය යුතුමය. ක්‍රීඩාවේදී නම් හරියට පැන්නොත් දිණුම් ය. වැරදියට පැන දැවී
යාමෙන් පසු පැත්තකට වී සිටිය හැකිය. එහෙත්. දිවි ගමනේ සමහර පැනීම් නීතියට අනුව වුව
දිණුමකින් කෙළවර නොවේ. දැවි ගියැයි පැත්තකට වී සිටිමටද නොහැකිය. හෙට දිනය ගෙවන්නට
නම්, අද පැනිය යුතුමය.
සරල ක්‍රීඩාවක අවස්ථා සම්බන්ධය ගැන කවක් ලියමින් ඈ අප
වෙත පාන්නේ ඔවුනගේ දිවියේ අනන්ත වූ දුෂ්කරතාවන්ගේ පිළිබිඹුවයි. එහෙත් එය වටහා ගැනිමට
නම්, කිවිඳිය ගැන, ඔවුනගේ දුෂ්කර දිවි පෙවෙත ගැන යම් ඉඟියක් ඔබට තිබිය යුතුය. මේ
වන විට යම් යම් අවස්ථාවල අප ඈ ගැන සහ ඇගේ වට පිටාව ගැන දුන් ඉඟි ඒ සඳහා සෑහේ යැයි
හඟිමි.
ගීතයක් වශයෙන්ද ඔබට මේ පිවිසුමෙන් එය රස විඳිය හැකිය.
- යසනාත් ධම්මික බණ්ඩාර -






ඉතා ප්රශස්ත වෑයමක් යසනාත්. ඔබට සුබ පතමි.
ReplyDeleteඑක්සත් ජාතීන්ගේ හැත්තෑවැනි සංවත්සරය නිමිත්තෙන් එහි මූලස්ථානයේදී පසුගිය ඔක්තෝබරයේ පැවැති උත්සවයේදී මායා ඇන්ජෙලෝගේ මුණුපුරු කොලින් ජොන්සන් ඇයගේ " A brave and startling truth" නමැති කවිය කියවනු අසා සිටියෙමි. එයත් මායා ඇන්ජෙලෝගේ ප්‍රබල කවියක්. එය හැකිනම් පරිවර්තනය කරන්න.
නැවතත් ඔබට සුබ පතමි.